Wednesday, August 28, 2013

නවක අනුරූපිතාවයේ නාමයෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ කොඳු කඩා දැමීම


නවක වදය, නවක අනුරූපීතාවය, රැග් එක ඔය හැම නමකින්ම හඳුන්වන්නේ එකම දෙයක්. නවක සිසුන්ව විශ්වවිද්‍යාල පරිසරයට අනුගත කිරීම තමයි මෙහි මුඛ්‍ය අරමුණ. එහෙත් මෙහිදී නවක වදයේ නාමයෙන් කරන්නේ තනිකර අනාගත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ කොඳු කඩා දැමීම.

අල වුණ අය ඇරුණාම රැග් වෙලා තියන හැම විශ්වවිද්‍යාල සිසුවෙක්ම දන්නවා රැග් එක මාර්ගයෙන් මොනවද කරන්නේ කියලා. මුලින්ම කරන්නේ ජේෂ්ඨ සිසුවන්ට බය පක්ෂපාත නවක සිසු පිරිසක් ඇති කරගන්න එක. ඒක ඔවුන්ගේ අනාගත අරමුණු වලට හරිම වැදගත්. බංකොලොත් දේශපාලන අරමුණු වලට ශිෂ්‍යයන් දක්කන්න එහෙම අවනත කරලා තියන එක හරිම වැදගත්. එහෙම අවනත නොවෙන අය බලෙන් අවනත කරගන්න උත්සහ කරනවා. බලෙන් හෝ අවනත කරගන්න බැරි වෙන අයව අතෑරලා දානවා. අල කියන්නේ මෙහෙම අත්හරින ලද කියන එක.

ජේෂ්ඨ සිසුන්ගේ අරමුණු වලටයි, බංකොලොත් දේශපාලනයක අරමුණු වලටයි කඩේ යන එක තමයි මොවුන් ඉන්පසු නවක සිසුන්ට කියලා කරවන්නේ. මුලින්ම නවක සිසුන්ව ජේෂ්ඨ සිසුන්ට අවනත කරලා තියන නිසා මේ වැඩේ හරිම ලේසියි. හැම නවක සිසුවෙක්ම අදහන දෙයක් තමයි සින්නන්ව හෝදනකල් අපිට මේ ෆැකල්ටියේ ඉන්න පුළුවන් කියන එක. ඒක නිසා නවක සිසුන් ජේෂ්ඨ සිසුන් කියන දෙයක් කරගෙන ඉන්නවා.

නවක අනුරූපීතාවය පැවැත්වෙන කාල සීමාවේදී කරන දෙයක් තමයි ජේෂ්ඨ සිසුන් තමන් පොරක්ය කියලා නවක සිසුන්ට පෙන්වන එක. හැම කෙනෙක්ම ඉන්නේ ජීවිතේට පුස්තකාලයට පය ගහලා නැති අය වගේ. ඒත් විභාග කාලෙට ඔවුන් පුස්තකාලයේ හැම පුටුවක්ම බදු ගන්නවා.තවත් මේ අය කියන දෙයක් තමයි

“ මල්ලි, මොනවද බං ක්ලාස් කියන්නේ? ක්ලාස් එකක තියන වැදගත්කම මොකද්ද? ක්ලාස් ගැහුවත් නැතත් අපිට ඩිග්‍රිය හම්බ වෙනවා. මේ කාලේ පුළුවන් තරම් ආතල් ගන්න එකයි කරන්න තියෙන්නේ”

නමුත් ක්ලාස් වලට අකමැති කෙනෙක් නැහැ. තමන් ඉගෙන ගත් දේට වටිනාකමක් ලැබෙන්නේ ක්ලාස් එකකින්. මේ සීනියර් අයියල කරන්නේ තමන් පිස්සු කෙළල නැති කරගත්ත චාන්ස් එක වෙන කවුරුහරි උත්සහ කරලා ලබාගන්න එකත් නවත්තන එක. නවක සිසුන් මුලින් හිතනවා මුන් මේ කියන්නේ ඇත්ත තමයි කියලා. ඒත් පහු වෙනකොට තේරෙනවා තමන් කොච්චර මුලාවකද වැටිලා හිටියේ කියලා. ඇත්ත තේරුම් ගන්න සමහරු හොඳට පාඩම් කරලා විභාගය ගොඩ දාගන්නවා. ඒත් සමහරුන්ට එහෙම අල්ලගන්න බැහැ. හේතුව බේසික් එක හරියට වැටිලා නැති එක. මෙහෙම වුණාම තත්වය හරිම කණගාටුදායකයි.


විශ්වවිද්‍යාලයේදී තමන් මුලින්ම හිතට ගන්න ඕනේ දේ තමයි තමුන් මෙතනට ආවේ මොකටද කියන එක. දුප්පත් දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරලා දුප්පත් දෙමව්පියන්ගේ හීන බලාපොරොත්තු උකසට තියලා ඇවිත් ඉගෙන ගන්නේ නැතුව එක එකාට කඩේ යනවනම් මොකද්ද ඒකේ වැදගත්කම? මහපොළ සල්ලි වලින් තීන්ත අරන් පෝස්ටර් ඇඳලා තමන්ටවත් රටටවත් වැඩක් නැතුව කරන දේශපාලනෙන් වැඩක් තියනවද? මේ දේවල් වලින් කාටද අන්තිමට ප්‍රයෝජනයක් තියෙන්නේ? ඔබටද? මටද? නැත්තම් වෙන කාටද?

4 comments:

  1. ///විශ්වවිද්‍යාලයේදී තමන් මුලින්ම හිතට ගන්න ඕනේ දේ තමයි තමුන් මෙතනට ආවේ මොකටද කියන එක. දුප්පත් දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරලා දුප්පත් දෙමව්පියන්ගේ හීන බලාපොරොත්තු උකසට තියලා ඇවිත් ඉගෙන ගන්නේ නැතුව එක එකාට කඩේ යනවනම් මොකද්ද ඒකේ වැදගත්කම? මහපොළ සල්ලි වලින් තීන්ත අරන් පෝස්ටර් ඇඳලා තමන්ටවත් රටටවත් වැඩක් නැතුව කරන දේශපාලනෙන් වැඩක් තියනවද? මේ දේවල් වලින් කාටද අන්තිමට ප්‍රයෝජනයක් තියෙන්නේ? ඔබටද? මටද? නැත්තම් වෙන කාටද?///
    මේ ටික තේරුම් ගන්නේ නැති එකනේ වැඩේ කියන්නේ ,,හොද ලිපියක්

    ReplyDelete
  2. ඔබ වගේ අනිත් සිසුවන්ටත් මෙය තේරුම් යනවා නම් කොපමන හොඳද?

    ReplyDelete
    Replies
    1. තේරෙන්නෙ නැතුව නෙවෙයි නොතේරුණා වගේ ඉන්නවා.

      Delete