Wednesday, August 28, 2013

නවක අනුරූපිතාවයේ නාමයෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ කොඳු කඩා දැමීම


නවක වදය, නවක අනුරූපීතාවය, රැග් එක ඔය හැම නමකින්ම හඳුන්වන්නේ එකම දෙයක්. නවක සිසුන්ව විශ්වවිද්‍යාල පරිසරයට අනුගත කිරීම තමයි මෙහි මුඛ්‍ය අරමුණ. එහෙත් මෙහිදී නවක වදයේ නාමයෙන් කරන්නේ තනිකර අනාගත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ කොඳු කඩා දැමීම.

අල වුණ අය ඇරුණාම රැග් වෙලා තියන හැම විශ්වවිද්‍යාල සිසුවෙක්ම දන්නවා රැග් එක මාර්ගයෙන් මොනවද කරන්නේ කියලා. මුලින්ම කරන්නේ ජේෂ්ඨ සිසුවන්ට බය පක්ෂපාත නවක සිසු පිරිසක් ඇති කරගන්න එක. ඒක ඔවුන්ගේ අනාගත අරමුණු වලට හරිම වැදගත්. බංකොලොත් දේශපාලන අරමුණු වලට ශිෂ්‍යයන් දක්කන්න එහෙම අවනත කරලා තියන එක හරිම වැදගත්. එහෙම අවනත නොවෙන අය බලෙන් අවනත කරගන්න උත්සහ කරනවා. බලෙන් හෝ අවනත කරගන්න බැරි වෙන අයව අතෑරලා දානවා. අල කියන්නේ මෙහෙම අත්හරින ලද කියන එක.

ජේෂ්ඨ සිසුන්ගේ අරමුණු වලටයි, බංකොලොත් දේශපාලනයක අරමුණු වලටයි කඩේ යන එක තමයි මොවුන් ඉන්පසු නවක සිසුන්ට කියලා කරවන්නේ. මුලින්ම නවක සිසුන්ව ජේෂ්ඨ සිසුන්ට අවනත කරලා තියන නිසා මේ වැඩේ හරිම ලේසියි. හැම නවක සිසුවෙක්ම අදහන දෙයක් තමයි සින්නන්ව හෝදනකල් අපිට මේ ෆැකල්ටියේ ඉන්න පුළුවන් කියන එක. ඒක නිසා නවක සිසුන් ජේෂ්ඨ සිසුන් කියන දෙයක් කරගෙන ඉන්නවා.

නවක අනුරූපීතාවය පැවැත්වෙන කාල සීමාවේදී කරන දෙයක් තමයි ජේෂ්ඨ සිසුන් තමන් පොරක්ය කියලා නවක සිසුන්ට පෙන්වන එක. හැම කෙනෙක්ම ඉන්නේ ජීවිතේට පුස්තකාලයට පය ගහලා නැති අය වගේ. ඒත් විභාග කාලෙට ඔවුන් පුස්තකාලයේ හැම පුටුවක්ම බදු ගන්නවා.තවත් මේ අය කියන දෙයක් තමයි

“ මල්ලි, මොනවද බං ක්ලාස් කියන්නේ? ක්ලාස් එකක තියන වැදගත්කම මොකද්ද? ක්ලාස් ගැහුවත් නැතත් අපිට ඩිග්‍රිය හම්බ වෙනවා. මේ කාලේ පුළුවන් තරම් ආතල් ගන්න එකයි කරන්න තියෙන්නේ”

නමුත් ක්ලාස් වලට අකමැති කෙනෙක් නැහැ. තමන් ඉගෙන ගත් දේට වටිනාකමක් ලැබෙන්නේ ක්ලාස් එකකින්. මේ සීනියර් අයියල කරන්නේ තමන් පිස්සු කෙළල නැති කරගත්ත චාන්ස් එක වෙන කවුරුහරි උත්සහ කරලා ලබාගන්න එකත් නවත්තන එක. නවක සිසුන් මුලින් හිතනවා මුන් මේ කියන්නේ ඇත්ත තමයි කියලා. ඒත් පහු වෙනකොට තේරෙනවා තමන් කොච්චර මුලාවකද වැටිලා හිටියේ කියලා. ඇත්ත තේරුම් ගන්න සමහරු හොඳට පාඩම් කරලා විභාගය ගොඩ දාගන්නවා. ඒත් සමහරුන්ට එහෙම අල්ලගන්න බැහැ. හේතුව බේසික් එක හරියට වැටිලා නැති එක. මෙහෙම වුණාම තත්වය හරිම කණගාටුදායකයි.


විශ්වවිද්‍යාලයේදී තමන් මුලින්ම හිතට ගන්න ඕනේ දේ තමයි තමුන් මෙතනට ආවේ මොකටද කියන එක. දුප්පත් දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරලා දුප්පත් දෙමව්පියන්ගේ හීන බලාපොරොත්තු උකසට තියලා ඇවිත් ඉගෙන ගන්නේ නැතුව එක එකාට කඩේ යනවනම් මොකද්ද ඒකේ වැදගත්කම? මහපොළ සල්ලි වලින් තීන්ත අරන් පෝස්ටර් ඇඳලා තමන්ටවත් රටටවත් වැඩක් නැතුව කරන දේශපාලනෙන් වැඩක් තියනවද? මේ දේවල් වලින් කාටද අන්තිමට ප්‍රයෝජනයක් තියෙන්නේ? ඔබටද? මටද? නැත්තම් වෙන කාටද?

යථාර්තයෙන් බිඳක්

දුප්පත් අසරණ දෙමව්පියන්ගේ ළමයි විශ්වවිද්‍යාලයට පා තබන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු ඇතුව. තමන්ගේ ළමයෙක් විශ්වවිද්‍යාලයට තේරෙනවා කියන එක පවුලටම නම්බුවක් ලෙසයි සලකන්නේ. ඒත් කැම්පස් ඇවිත් මේ ළමයි මොකද්ද කරන්නේ? රෙදි නැතුව තමන්ගේ සීනියර්ලට, දේශපාලන පක්ෂ වලට කඩේ යනවා.

නවක වද කාලෙදිම මේ ළමයින්ව නිදහස් අධ්‍යාපනය රැකගැනීම කියන සුන්දර බොරුවට ඇදලා ගන්නවා. ඔබත් මමත් දිනපතාම පාරවල් වල දකින දෙයක් තමයි නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ අරමුණින් පැවැත්වෙන  පා ගමන්, පිකට්, තවත් එකී මෙකී සියලු දේ. ඔය කිසිම පා ගමනකට වත් පිකට් එකකට වත් තමන්ගේ කැමැත්තෙන් යන ළමයි ඉන්නවනම් ඒ අතේ ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවක්.  සාමාන්‍යයෙන් කැම්පස් එකේදි මෙ පිකට් වලට සෙනග ඇදලා ගන්නේ අහවල් බැච් එකෙන් අහවල් පිකට් එකට මෙච්චර ගණනක් එවන්න කියලා. එහෙම එව්වෙ නැත්තම් අදාල බැච් එකට සොරිම තමයි. ඒ තමයි කැම්පස් සංස්කෘතිය. ඉහළ පුටුවල ඉන්න කිහිප දෙනෙක්ගේ ඕනෑ එපාකම් සපුරගන්න සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවම කඩේ යවනවා. 

අලුතෙන් නැවක් ආවම ජේෂ්ඨ සිසුවො කරන්නේ අලුත් නැවේ කට්ටිය කැම්පස් එක ඇතුලේ තියන සම්ප්‍රදායට හුරු කරවගන්න එක. නවක වදය හරි නවක අනුරූපීතාවය ඔය මොන නමකින් කිව්වත් කෙරෙන්නේ ඕක. මෙහිදී බොහෝ සිසුවෝ මොළ ශෝධනයට ලක් වෙනවා. ඒ සිසුවන් මගින් අනිත් සිසුන්වත් මොළ ශෝධනයට ලක් කෙරෙනවා. එහෙම නැති අයව බලෙන් මෙයට යොමු කරවනවා. එහෙමත් බැරි අයව තමයි අල කරලා දාන්නේ. අල කියන්නේ අත්හරින ලද කියන එක. ඔවුන් වෙනත් සිසුන් කොටසක් හැටියටයි ගණන් ගැනෙන්නේ.

විශ්වවිද්‍යාලයට එනවිට බොහෝ සිසුන්ගේ මනසට රිංගවලා තියනවා රැග් විය යුතුයි කියන එක. රැග් වුණේ නැත්තම් කැම්පස් ජීවිතයේ නියම රසය විඳින්න බැහැ කොන් වෙනවා වගේ හැඟීමක් ඔවුන්ට කාවද්දලා තියනවා. මේ නිසා බොහෝ සිසුන් රැග් වෙන්නේ ස්ව කැමැත්තෙන්. රැග් කාලෙදි සිදුවෙන සිදුවීම් වෙනත් ලිපියකින් කතා කරන්නම්. රැග් සීසන් එකෙන් පස්සේ පළමු වසරෙදි නම් තත්වය ශෝචනීයයි. විශ්වවිද්‍යාලයේ සිදුවන හැම වැඩකම වැඩි බර අදින්න වෙන්නේ පළමු වසර සිසුන්ට. කොච්චර හොඳින් පැවරුණු කාර්යය කළත් කවදාවත් ඔවුන්ට හොඳක් අහන්න සිද්ධ වෙන්නේ නම් නැහැ. හැමවෙලේම ජේෂ්ඨ සිසුන්ගේ අණට කීකරු වෙලා ඔවුන්ගේ යටහත් පහත් සේවක පිරිසක් වගේ ඉන්න තමයි සිදු වෙන්නේ.

කිසියම් සිදුවීමක් නිසා ජේෂ්ඨ සිසුන් තරහ කරගත්තොත් වැඩේ ශෝචනීයයි. එම සිසුන් ගැන ආචාර්ය මණ්ඩලයට බොරු කේලාම් කීම දක්වා මෙම තත්වය වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම මේ ශිෂ්‍ය සංගම් වල වැඩ වලට වියදම් වෙන්නේ අහිංසක දෙමව්පියන්ගේ සල්ලි. මේ හැම සතයක්ම ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. පිකට් වලට පෝස්ටර් අඳින්න තීන්ත ගන්න පවා වියදම් කරන්නේ කැට ගිහින් හොයාගන්න සල්ලි. ඒ කියන්නේ ඔබ දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි.


විශ්වවිද්‍යාල සිසුවෙක්ගෙන් සමාජය බලාපොරොත්තු වෙන්නේ ඔය දේවල් නෙවෙයි. ඔවුන්ට වියදම් කරන සල්ලි වලට සරිලන දැනුමක් ලබාගෙන අනාගතයේ මේ රටට සේවයක් කිරීමයි වැදගත්. ඔබ විශ්වවිද්‍යාල සිසුවෙක් නම් මදක් හිතන්න ඔබ ඔබේ කාර්යය නිවැරදිව ඉටු කරනවද කියා.

Monday, August 26, 2013

කැම්පස් ජීවිතයේ යථාර්තය


විශ්ව විද්‍යාල එහෙම නැත්තම් කැම්පස් එකකට යන එක අපි හැමෝගෙම හීනයක්. ඒත් අපි කැම්පස් ගිහිල්ලා ඉගෙන ගන්න එක ඇරෙන්න අනිත් හැම දෙයක්ම කරනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් කරන්න වෙනවා. මේකට හේතුව මොකද්ද?

විශ්ව විද්‍යාලයක තියෙන්නේ තනිකර සීනියර් ජූනියර් මානසිකත්වය. සීනියර් අය හැම වෙලාවෙම ජූනියර් අයව තළා පෙළා ගෙන ඉන්න තමයි හදන්නේ. හැම සිසුවෙක්ම හිතන්නේ තමන්ගේ පහළ බැච් වල ඉන්න අය තමන්ට වඩා පහත් සත්ව කොට්ථාශයක් කියලා. තමන් කියන විදියට හිටියේ නැත්තම් ඒ බැච් එක අල කරල දානවා.

තවත් මේ කැම්පස් ජීවිතයේ රුදුරු කටුක සත්‍ය අප්‍රමාණයි. තවත් සත්‍ය කතාවක් සමගින් ඉදිරියේදි හමුවෙමු.